Aralu - Terminalia chebula
![]() |
අරළු - aralu |
සිංහලෙන් අරළු නමින් ද ,අරාබි වලින් කබාලි, ඉංගී්රසි වලින් Myrobalan හා දෙමලෙන් කටුක්කායි යනුවෙන් ද අරළු හැදින් වේ. අනුරාධපුර, කුරුණෑගල, ඌව, බින්තැන්න ආදී පළාත්වලද ඉන්දියාවේ මධ්‍යම පළාතේ සහ බංගලිදේශයේද, මදුරාසියේද, බොම්බායේ දකුණු පළාතේ විශාල වනාන්තරවලද වැවෙන ශාකයකි. අරළු කොළ අඟල් පහේ සිට හය දක්වා දිගටද අඟල් දෙකක් තුනක් දක්වා පළලටද වේ. මල් කහ පාටට හුරු සුදු පාටය.
Table of Contents
"භවතේ ජාතා හරිතක්ය ස්වභාමනඃ හරිති සර්වරෝතෝද්ර තේනප්රොන්නාහරීතකී"
විෂ්ණුගේ උයනේ උපන් නිසාද විෂ්ණු හා සමාන සුවභාවයක් ඇති නිසාද සියලු රෝග නසන නිසාද අරළුවලට හරිතකී යන විෂ්ණුගේ නාමයම ව්‍යවහාර වේ. සුර අසුර යුද්ධයේදී කිරි මුහුද කළඹා සොයාගත් අමෘතය සක්දෙවිඳුන් පානය කරමින් සිටින අවස්ථාවේ ඉන් බින්දු හතක් කිරි මුහුදට නොවැටී මිහිකත මත පතිත වූයේ සුළු වැරැද්දකිනි.
මෙයින් මහත් කම්පාවට පත් ශක්රදේවේන්ද්රයා ප්‍රාර්ථනාවක් කළේය. මාගේ පානයට පමණක් ඇති මේ අමෘතය පොළොවට වැටී විනාශ විය. නමුත් එය මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම පවතීවායි පැවසූ නිසා එම බිංදු හතෙන් පහළ වූ අරළු වර්ග හත මෙසේ නමින් හතකින් භාවිත වේඅරළු වර්ග හතක් (7) ආයුර්වේදයේ සඳහන් වේ.
01. රෝහරී - ගෝලාකාරය
02. ප්රකනා - ප්‍රමාණයෙන් ලොකුය. රෝහරී වර්ගයට වඩා විශාල වුවත් මාංශ කොටස අඩුය. ඇටය ලොකුය.
03. අමෘත - මාංශ කොටස වැඩිය. ඇටය කුඩාය.
04. අභයා - අන් වර්ගවලින් වෙනස්a වන්නේ එයට සීමා වූ රේඛා පහක් ඇති වූ බැවිනි.
05. මෙනිකා - රේඛා තුනකින් යුක්තය.
06. විජය - ඉහටිය සිහින් ව පහටිය මහත්ව, ලබුගෙඩියක ස්වරූපයෙන් යුක්තය.
07. ජීවන්තා - රන්වන් පාටය
මෙම වර්ග හතෙහි ඇති ඖෂධ ගුණ එකිනෙකට වෙනස් වන අතර, හොඳම අරළු වර්ගය 'විජය' ලෙස සඳහන් වේ. ආයුර්වේදයේ තිපල් යනුවෙන් හඳුන්වන ඉතා උසස් ඝනයේ ලා සලකන අරළු යෙදා ගෙන ඖෂධ රාශියක් නිපදවයි. ප්‍රධාන වශයෙන් ආමාශගත රෝග සහ රුධිරය අපිරිසිඳු වීම නිසා හටගන්නා රෝගවලට ප්‍රතිකාර කිරීමට අරළු යොදා ගනී.
අරළු 1, බුළු 02 යි. නෙල්ලි 03 යි යන අනුපාතයට තිවර්ගයේ කුඩු, ගිතෙල් හා මීපැණි දමා අඹරා ලෝහ තැටියක පවනේ වියලා වෙරළු ඇටයක ප්‍රමාණයේ ගුලි කර එක ගුලිය බැගින් උදය, සවස පාවිච්චි කළහොත් සියලු රෝගවලින් වැලකී සිටීමට හැකි බැව්, අති පූජ්‍ය ගෞරව බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමින් වහන්සේ පිටපත් කර ඇති හස්ථසාර පොතෙහි සඳහන්ව තිබේ. අරළු කැබැල්ලක් මුඛය තුළ තබාගෙන සිටීමෙන් මුඛරෝග කට ගඳ ගැසීම, විදුරුමස් යවීම, කිසි දිනක සිදු නොවී කටහඩද මිරහිරි වන බැව් ආයුර්වේද පොත්වල සඳහන් වේ.
මීටර 30ක් පමණ උසින් වැඩෙන අරළු ටර්මිනේලියා චෙබුලා (Terminalia Chebula) යන උද්භිද නාමයෙන් හඳුන්වන කෙම්බ්රිටාසේ (Combretaceac) කුලයට අයත් සදාහරිත ශාකයකි. පුෂ්ප මංජරියක පුෂ්ප 50-100 ක් පමණ ඇති නමුත් ගෙඩි හටගන්නා බීජ ඇත්තේ කීපයක පමණි. කහ පැහැති ඉතා සුගන්දවත් අරළු මල් හා ගෙඩි හට ගැනීම වාර්ෂිකව සිදු වේ. අරුළු ගෙඩි තුළ ඝන මාංශලයක් සහ තද ඇටයක් පිහිටා ඇත.එය තුළ වී ඇටයක පමණ ප්‍රමාණයේ මදයක් තිබේ. මෙම ගෙඩි ඌරා මුවාගේ ඉතාමත් ප්‍රණීත ආහාරයකි. එම නිසාම පැළ හට ගැනීම ඉතා සීමිත ය. මෙම අරළු ගෙඩි අව්වේ වියළා කුඩුකර ආයුර්වේද ඖෂධ සෑදීම සඳහා යොදා ගනී.